වාලුකා කතරකට

වාලුකා කතරකට
දිය බිඳ ඔසුවක් වුවද
මහා මේඝ ගර්ජනා මැදින්
නුඹ පියමං කලා
සරතැස නිවන්නට නොව
ගිණිගත් වියළි හදවත්
දවා හළු කරමිනම
නුඹ ගැන පාපොච්චාරණයක් නොව
දරන්නට බැරි වේදනාවක
කදුළු කැට වැටෙනා මොහොතක
අවැසිමයි පන්හිඳේ අකුරු කරන්නට
මුවින් නැගෙනා වදන්
මුතුකැට ලෙසින් නොව
ගල්කැට විලසින්ම
ලියන්නට හැකි වේය
පත්ඉරු පුරාවට
දනන් වැලපෙන හඬ
නුඹ ගල් හදවතට
නොදැනී නොදැනීම යන
මොහොතකට පිවිස ඇත………
සතුටු සිත් මුවඟ රැඳි
මුතු කොමල සිනා වැල්
නුඹ දෝත පා අරන්
ඉන්නේ ඇයි ඔය තුටින්

ශ්‍රීණිකා චාන්දනී

සුසුම් පොදක්

සුසුම් පොදක් නොසලනා මුත්

සුසුමක හඬක් නොනැගෙනා මුත්

කම්පිත කලා මුළු ලෝකයක් ……….

අහෝ ………. කොරෝනා ….

සිත් පිත් නොමැති නුඹ

දහස් ගණනක් ජීවිත

වල දැමුවා අකාලයේ …….

නැත සරණක් මිනිසුන්ට

බීජයක් නොව මහා වෘක්ෂයක් සේ

නොසැලීම නුඹ හිඳින්නට

තව කාලයක් ……..

වෙර දරනවා නොවෙද

හදවත් ගිණියම් කරමින් …..

එපා එන්නට ආයෙමත්

යන්න නුඹ යන තැනකට

නොඑන්නටම ආයේ කිසි දිනෙක

ප්‍රකම්පිත වූ මිනිස් සිත්…….

තව කාලයක් කෙසේ නම් …..

හිඳින්න ද නුඹ හා එකතුව

නිදහසේ සුසුමක් හෙලන්න

අපටත් අවැසි බව

සිතන් අප සිත නොරිදවා

යන්න නුඹ යළි නොඑන ගමන් …………………

ශ්‍රීණිකා

වික්ෂිප්ත

අවසන් පදයත් ලියා
අවසන්ම කරදැමු
කතාවක මෙතැන්සිට
ලියන්නට කියයි සිත…….
දුකම සලකුනක් කල
සුසුම සටහනක් කල
තැවුල මතකයක් කල
පුරුදු දුක් කතාවක්
ලියන්නට..මෙතැන් සිට…..
විටෙක පසුබාන සිත

විටෙක නැවතත් පිපෙයි
දුකම හුම් මිටි තබා
ඒ වෙතම මා යවයි
කකියමින් සිහිව එන
අතිතය ගොරහැඩියි….

යලි නින්ද අහිමිවන
මතකයන් පිරියන
වික්ෂිප්ත විත්තියක
තීන්දුව තවම නැත……..


ජිවිතේ බර ……

‍නෙක තරු රටා මවමින්

නිදි නොමැති රැය පුරා

වද විඳින හුදි ජනයා

විසල් නුවරෙහි ගැටෙමින් ‍

හෙට දිනට පහන් කරනා

හිරුගේ තේජසින් ඔකඳව

ඩා බිඳු හෙලා මිහිමතට

කුලල් කා ගනිමින්……………….

ඇසිල්ලකින් යළි නැගිටමින්

සියළු දෑ අමතකව

මහ බරක් හිසෙහි රඳවා

දිවි මගෙහි යනෙන බව

අමතකය විටෙක හැමටම

සිහින් තත්සර වයන

සුකොමල දෑගිලි තුඩක පහස

සියුමැලි වුවද

ජිවිතේ බර මහමෙරකි

ඉසිලිය නොහැක ……….. කිසිවකුට

ශ්‍රීණිකා චාන්දනි

අද ඉන්න පැටවුන්ට…….

අද ඉන්න පැටවුන්ට
අහන්නට කතන්දර
කවියක් කියාලන්න
නෑ ඉමක් උන්ට හැම
අරුමෝසම් ලෝකයක
උන් හිරවෙලා හැම පැයක
අපි වගේ අත්තප්පලා
වදවෙලා ගිය දිනෙක
දැනේවිද අගය
අපෙ පැරණි කතන්දර
අනේ මට නොවැටහේ
මුන්ගේ මේ නාටකේ

කාලය හා කර්මය

කුරුල්ලකු ජීවත්ව සිටින විට,

ඌ කුහුඹුවන් අනුභව කරයි.

කුරුල්ලකු මියගිය විට,

කුහුඹුවන් කුරුල්ලාව අනුභව කරයි.

එක් ගසකින් ගිනිකූරු මිලියන ගණනක්

සෑදිය හැකිය.

නමුත් එක් ගිනිකූරකින් ගස් මිලියන ගණනක්,

විනාශ කළ හැකිය .

කිසිවෙකුට කිසිවිට අවතක්සේරු නොකරන්න.

එක් මොහොතකින් සියල්ල වෙනස් වී යා හැක.

ඔබ අද ප්‍රබල විය හැක..

නමුත් කාලය අප හැමට වඩා ප්‍රබලය.

චූටි පුතුට……..

හිරු එබි හිනැහෙන්න කලින් මගෙ පුතු ලොවට
නික්මිලා මා යන්නෙ පැය අටේ සේවයට
දහස්වර සිතෙනමුත් කිරි මුහුණ සිපගන්න
පුතනුවණි මට දුකයි නුඹෙ සිහින බිදලන්න
කිරි බොන්නෙ අද කොහොම මව් ලැමද නැත නුඹේ
මව් ලැමදෙ උණුසුමට කිරි බිව්ව පුතණුවේ
වෙනසක්ය අද නුඹට දැනෙන්නේ මගේ පුතේ
බෝතලේ කිරි කදුළ බොන්න මගේ පොඩි පුතේ
කිරි කදුළු හිරවෙලා රිදුම් දෙයි මව් ලැමේ
නෙත කදුළු වැගිරිලා නුඹව සිහිවෙයි පුතේ
මව් ලැමද සොය සොයා නුඹ හඩයි ඇඳ කොනේ
කිරි කදුළු වැගිරිලා මම හඬයි වැඩ බිමේ
දවස ගෙවිලා යන්න තව හුඟක් පැය ඇතේ
පුතනුවණි මම කොහොම ඉවසන්නේ දරු සෙනේ
කුසගින්න අද නොමැත වෙනදා මෙහන් දැනෙන්නේ
නුඹේ කුස ගිනි පමණි පපු තුරුලේ දැවෙන්නේ
දෙනෙත් හැර බලන විට ලග නොමැති මව කෙරේ
සොවක් ඇතිවනු එපා පුතනුවණි නුඹෙ සිතේ
දෙපා පොඩි තබා නුඹ පිය නගන හෙට දිනේ
නුඹේ ලොව තනන්නයි මා මෙලෙස කැප වුණේ
හදවතම උතුරනා තරමටයි දරු සෙනේ
දකින හැම මුහුණකම නුඹේ සිඟිති මුව පෙනේ
නුඹ නිදන නුඹ හඬන හෝරාව මට දැනේ
ඉගිල විත් මුව පොඩිය සිප ගන්න මට සිතේ

ජේ.ජී.ඩී. ලක්මාලි

සිහින

ඔබට මේ ජිවිතය තුළදී

බලාපොරොත්තු

සිහින සියල්ල සැබෑ කර ගැනීමට

නොහැකිය.

නමුත්,

ඔබට විකල්පයක් ඇත.

එනම්,

තම මනස පාලනය කර ගැනීමයි.

ආශාවන් කොතෙකුත් ඇතත්,

එම ආශාවන් හදුනාගෙන ,

ඒවා වලින් පාලනය වන්ට නොව,

ඒවා පාලනය කිරීමට ඉගෙන ගන්න.


සතුට කඳුල

උදෑසන අවදි වීමෙන් පසු
ඔබේ මතකයට නැගෙන පළමු පුද්ගලයා
සහ
රාත්‍රි‍යේ නින්දට ගිය පසු
ඔබේ මතකයට නැගෙන
අවසාන පුද්ගලයා
ඔබේ සතුටෙහි හෝ කඳුලෙහි
හේතුව යි………………………..

එම්.එල්. සී. සජීවනී

මතක තබා ගන්න

පියාඹන්නට නොහැකිනම්,
දුවන්න
දුවන්නට නොහැකිනම්,
ඇවිඳින්න
අවිඳින්නට නොහැකිනම්,
බඩගාන්න
ඔබ මින් කුමක් කලත්
ඉදිරියට පමණක් යායුතු බව
මතක තබා ගන්න

එච්.ජී. පද්මිණී

Blog at WordPress.com.

Up ↑

Create your website with WordPress.com
Get started